කුඩා ඔය යුද හමුදා කොමාන්ඩෝ පුහුණු කඳවුරේ අංක 2 මුරකුටියේ රාජකාරි කරමින් සිටි යුද හමුදා සෙබළෙකුගේ අත්පා බැඳ දමා එම සෙබළා සතු ගිනි අවිය පැහැරගත් හිටපු හමුදා සෙබළකු එම පැහැරගත් ගිනි අවිය සමග පෙරේදා (17) අත්අඩංගුවට ගත් බව යුද හමුදා පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු කහවල ගල මහවත්ත කළුතර ලිපිනයේ පදිංචි පුද්ගලයකු බවත් ඔහු 2009 වසරේ අගෝස්තු මස 13 වැනි දින යුද හමුදා කොමාන්ඩෝ බළකායේ සේවයට බැඳී කුඩාඔය කොමාන්ඩෝ පුහුණු පාසලේ සාමාන්‍ය සෙබළකු ලෙස පුහුණුව ලැබූ අයෙකු බවත් යුද හමුදා පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.
මෙම පුද්ගලයා 2017 වසරේ අප්‍රේල් මස 10වැනිදා සිට යුද හමුදා සේවයට වාර්තා කර නොමැති බව කුඩා ඔය පොලිසිය පවසයි.
ඉකුත් 17 වැනිදා අලුයම් කාලයේ මෙම සැකකරු කුඩා ඔය කොමාන්ඩෝ පුහුණු පාසලේ අංක 2 මුරකුටියට රිංගා එහි රාජකාරියේ යෙදෙමින් සිටි යුද හමුදා සෙබළාගේ අත්පා ලණුවලින් ගැටගසා බැඳ එම නිලධාරියා සතු ගිනි අවිය මෙසේ සොරාගෙන ගොස් පසුව මේ පිළිබඳව අනාවරණය වීමෙන් පසු කුඩා ඔය යුද හමුදා කොමාන්ඩෝ පුහුණූ පාසලේ අණ දෙන නිලධාරියා විසින් මේ පිළිබඳව කුඩාඔය පොලිසියට හා යුද හමුදා පොලිසියට දැනුම් දීමෙන් පසු මේ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
එහිදී කුඩාඔය මංසන්ධියේ සැකකටයුතු ලෙස හැසිරුණු සැකකාර යුද හමුදා සෙබළා එදිනම පස්වරු 4. 00ට පමණ යුද හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී යුද හමුදා කඳවුරට ආසන්න පරණ බලහරුව මාර්ගයේ කලාපයක් තුළ සඟවා තිබූ එම සොරාගත් ගිනි අවිය සොයා ගැනීමට යුද හමුදා පොලිසිය හා කුඩා ඔය කඳවුරේ හමුදා නිලධාරීන් සමත්ව තිබේ.
මෙම සැකකාර හිටපු යුද හමුදා කොමාන්ඩෝ සෙබළා යුද හමුදා පොලිසියට පවසා ඇත්තේ තමන්ට ජීවත්වීමට ආදායම් මාර්ගයක් නොමැති කම නිසා මෙම ගිනි අවිය සොරාගෙන එය විකුණා මුදලක් සොයා ගැනීමට අදහස් කළ බවයි.
සැකකාර හිටපු හමුදා සෙබළා රට තුළ සිදුවූ වෙනත් අපරාධ සිද්ධින්ට සම්බන්ධ දැයි සොයා බලන බවත් ඔහු මෙම ගිනි අවිය කොල්ලකෑමට උත්සාහ කරන ලද්දේ එවැනි අපරාධ සඳහා යොදා ගන්නට දැයි විමර්ශනය කරන බවත් යුද හමුදා පොලිසිය පවසයි.මොනරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අරුණ පද්මශාන්ත, මොනරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල යන මහත්වරුන්ගේ උපදෙස් මත කුඩා ඔය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් දිසානායක මහතාගේ මෙහෙයවීම යටතේ කුඩාඔය පොලිසිය හා යුද හමුදා පොලිසිය එක්ව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.
No comments:
Post a Comment